නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Saturday, July 19, 2014

ධර්ම දේශනයක නිවීම සොයාගනිමු!

මෙකල සත්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට යෙදෙන බොහෝ දෙනෙක් තුල දැකගන්නට තිබෙන්නාවූ මට වැටහෙන අයුරින් නිවීම පිණිස මෙය බොහෝ බාධාවක් වී තිබෙන නිසාම මේ පිළිබඳව සටහන් තබන්නෙමි. විවිධාකාරයෙන් මේ මාතෘකාව නිතරම පාහේ සටහන් තබන්නේ මෙහි ඇති වැදගත්කම නුවණැත්තන් විසින් විමර්ශයෙන් යුතුව තෝරාගෙන යහපත පිණිස දමාගැනීම වඩාත් සුදුසු වන බැවිනි. 

සත්ධර්මය දේශනාවක් ලෙසින් ශ්‍රවණයට කරන්නට ලැබෙන දේශනාවක් තුල හෝ වේවා කියවන්න ලැබෙන පොතක් පතක් තුල හෝ වේවා ගැලපෙන සහ නොගැලපෙන කරුණු බොහෝ තිබෙන්නට හැකියි. විශේෂයෙන්ම අන්තරාභවය තියෙනවද නැතිද, නිර්මාංශ ප්‍රශ්ණය, පින සහ කුසලය එකක්ද නැත්ද, පුද්ගලික මාර්ග ඵල ලාභී තත්වයන් පිළිබඳව ආදී දිගින් දිගටම වාද විවාද තර්ක කරන්නාවූ මාතෘකා සම්බන්ධයෙන් පුද්ගල මතයන් විවිධාකාරයෙන් ඕනෑතරම් තිබෙන්නට හැකියි. 

මට වැටහෙන දේ නම් යමෙක් එසේ නිවීම ලැබීම පිණිස සෘජුවම සම්බන්ධතාවයක් නැති කිසිසේත්ම අදාල නොවන මෙවැනි කරුණු මුල්කරගෙන නිවීම පිණිස උපකාර වන්නාවූ සතර සම්‍යක්ප්‍රධානයන් වන උපන් අකුසලයන් ප්‍රහාණය පිණිස, උපන් කුසලයන් වැඩීම පිණිස, නූපන් කුසලයන් උපදීම පිණිස, නූපන් අකුසලයන් නොනැගීම පිණිස හේතුවන්නාවූ දහම් කරුණු බැහැර කරන්නේ නම් එය තම තමන්ගේ නැණ පමණින් තෝරාගත්තාවූ අනුවණකමක්මය. එහෙම නේද?

99%ක් නොගැලපෙන ධර්මයක් පවසන්නෙකු තුලත් 1%ක් හෝ නිවීම පිණිස උපකාර වන සත්දර්මයක් කියැවෙන්නට හැකිය. අන්න ඒ 1% ඉස්මතුකරගෙන එයම වර්ණනා කරමින් එයටම මුල්තැනදීමට මෙවන් වූ කාලයක ඔබට හැකියාවක් තියෙනවා නම් ඔබට නිවීම දුර නොවෙනු ඇත. සත්ධර්ම දේශනයක් ශ්‍රවණය කොට අවසානයේ දැවීමක් ඔබට නොලැබෙනු ඇත. සත්ධර්මය බැබළවීම යන කාරණයද ඒ තුලම තිබෙනවා ඇත.

මෙන්න මේ කරුණ නිතරම පාහේ සිහිපත් කරන්නේ මෙකල මාර්ගඵල දුර්ලභ වීමට යම් කරුණු හේතුවී ඇතිනම් බුදු හිමියන් පෙන්වා දී ඇති ආකාරයට සත්ධර්මය ශ්‍රවණය නොකිරීමද මුලිකම හේතුවක් යැයි මගේ අදහසයි. මේ නිසා ප්‍රඥාවන්තවීම අතිශයින්ම වැදගත්ය.

ඔබ 100% සුපිරිසිදු සත්ධර්ම දේශනයකට සවන් දෙන්නට බලාපොරොත්තුවෙන් සිටියහොත් ඔබට මෛත්‍රී බුදු හිමියන් හමුවන තුරු සිටීමට සිදුවනවා නිසකැයි. මන්ද අරිහතුන්වහන්සේගේ දේශනයක් තුල පවා විවිධ වූ අඩුපාඩු සහිත විය හැකියි. මන්ද උන්වහන්සේගේ ප්‍රඥා මට්ටමෙන් තමන්වහන්සේ අරිහත්වයට පත්වූ ක්‍රමය පෙන්වා දීමක් සිදුවන අතර උන්වහන්සේගේ දේශනා ශක්තිය මත 100%ක් නිවැරදි ක්‍රමයක් පවා අඩුපාඩු සහිතව දේශනා වීමක් සිද්ධ විය හැකියි. ඒ දේශනාව ශ්‍රවණය කර යම් කෙනෙක් අඩුපාඩු සඳහා මුල්තැන දී අදාල කොටස් බැහැර කරනවා නම් පාඩුව ඒ පුද්ගලයාට මිස දේශකයාණන්වහන්සේට නොවේ.

ඒ වගේම ඒ ක්‍රමය ඔබගේ චරිත ස්වභාවයට නොගැලපේ නම් උන්වහන්සේ අරිහත්වයට පත්වීම පිණිස භාවිතා කල ක්‍රමය වුවත් එය කොතරම් ආකර්ශණීය ක්‍රමයක් වුණත් ඔබට ලැබෙන ප්‍රතිඵලයක්ද නැත. එසේ නම් ඔබ විසින් ඔබට ගැලපෙන ක්‍රමය සොයාගැනීම පිණිස විමර්ශණශීලිව බුද්ධිමත්ව සත්ධර්මය ශ්‍රවණයට මුල්තැන දෙමින් ඒවා ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට ලංකර ගනිමින් ප්‍රතිඵල ලැබෙන ආකාරය අධ්‍යනය කල යුතුය.

සත්ධර්ම දේශනයක පුංචි පුංචි හෝ මේ අඩුපාඩු කිසිවක් නැත්තේ සම්මා සම්බුදුරජාණන්වහන්සේ කෙනෙකුගේ දේශනයක් තුල පමණි. මෙවැනි වූ කරුණු ඔබ සිහිතබාගැනීමත් ඔබට සත්ධර්ම දේශනයකින් උපරිම ඵල නෙලාගැනීමට උපකාර වනු ඇත. නැතිනම් හැමදාමත් නොගැලපෙන කරුණු නිසාවෙන් පුද්ගලික මතයන් නිසාවෙන් ගැටී ගැටී වාද විවාද තර්ක කරමින් අවසන ආර්ය උපවාදයන්ට පවා යොමුවෙමින් අවිද්‍යාවේ මුලාවටම හසුව සංසාර සැඩ පහරට හසුව අනන්ත සංසාරය පුරාවටම සිද්ධ වුවා සේ නැවතත් ඒ විනාශයම කරගන්නට ඔබ යොමුව ඇතිබව නුවණින්ම දැකගත යුතුව ඇත.

ඉතින් මේ සටහන ලියන්නට හේතු කාරණා වුනේ යහපතක් සිද්ධ කරගනිත්වා යන අරමුණ ඇතිව මා විසින් බෙදාගන්නා බොහෝ සත්ධර්ම දේශනා වල දේශකයාණන්වහන්සේලාගේ අඩුපාඩුකම් හෝ නොගැලපෙන මතයන් ආදී දෑම ඉස්මතුකරගෙන ඒවා ඔස්සේ දැවීමක් ඇතිකරගන්නට යමෙක් පෙළඹෙනවා නම් බුද්ධිමත්ව විමර්ශණය කොට තම තම නැණ පමණින් තෝරාගෙන තමන්ටත් අනුන්ටත් යහපත උදාකරගැනීම පිණිස කටයුතු කරගැනීමටයි. මෙතැනදී දැවීම කියන විට ඔබ මහා පරිමාණයෙන් ද්වේශ සහගත තත්වයක් උදාකර නොගත්තා විය හැකියි. ඇතිවන මට්ටම තෝරාගැනීම තම තමන්ට අයත් කාර්යයකි. 

නිසි දේට මුල්තැන දෙන්නට තරම් ඔබ තුල සාමාන්‍ය දැනීමක් තිබිය යුතුය. එය වර්ධනය වීමම ප්‍රඥාවන්තභාවයයි. ප්‍රඥාවන්තභාවයේ වර්ධනයම නිවීමයි. ධර්මාවබෝධයට පත්නොවූ තත්වයක සිටින්නාවූ කළ්‍යාණ පෘතග්ජන කියන මට්ටමේදී දේශකයාණන්වහන්සේලා බොහෝ විට ඉතාමත් වැදගත් කරුණක් පොතකින් බලාගෙන ඉගෙන ගෙන සජ්ඣායනා ස්වරූපයෙන් හෝ දේශනා ස්වරූපයෙන් හෝ ලැබෙන්නට සලස්වනවා. එහිදී කළ්‍යාණ පෘතග්ජන කියන්නාවූ ගරු කටයුතු මට්ටමක් මේ ශාසනය තුල තිබෙන බව දැනගෙන සිටීම මේ වගේ කිලිටි සහගත සිත් පහල වීම වලක්වා ගැනීමට උපකාරයක්ද වෙනවා. 

මෙම මට්ටමේදී බොහෝ විට තමන්ගේ මත ආදිය ඉදිරිපත් වීමට ඇති ප්‍රවණතාවයද බහුලයි. සත්ධර්මය දේශනා කරන්නාවු සැවොම ආර්ය සංඝ කියන මට්ටමේම සිටිය යුතුයි යන නියමයක් දමාගැනීම අවශ්‍ය නැත. ඒ කියන්නා වූ සත්ධර්මය තුලින් ඒ ඒ මට්ටමෙන් ප්‍රයෝජන ලැබීම නුවණැති පුද්ගලයාගේ කටයුත්තය. කියන්නා කෙසේ කීවද අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය යන උපහැරණය මෙවන් අවස්ථාවලදී ඉතාමත් වැදගත් වේ.

ඉතින් යම් දේශකයාණන්වහන්සේ කෙනෙක් විසින් දේශනා කරන්නාවූ ධර්ම දේශනයක් තුල තමන්ටත් අනුන්ටත් යහපත උදාකරගත හැකි දෑ අංශු මාත්‍ර වශයෙන් හෝ තිබේ නම් එම කොටසට මුල්තැන දීම ඉතාමත් වටිනා ගුණයකි. උන්වහන්සේලා ආර්යභාවයේ සිටිනා උත්තමයින්ද නැතිනම් කළ්‍යාණ පෘතග්ජන මට්ටමේද නැතිනම් හිස්වූ පෘතග්ජන මට්ටමකද මේ දේවල් අදාල කරගත යුතු කරුණු නොවන්නේමය. ඒ පෞද්ගලික දේවල් දැනගැනීම නිවීම පිණිස අදාල වූ දෑද නොවේ. මන්ද යම් පුද්ගලයෙකුගේ ආර්ය අනාර්ය භාවය පෘතග්ජන මට්ටම ආදී දෑ ගැන 100% නිවැරදි විනිශ්චයක් තීරණයක් දිය හැකි වන්නේ සම්මා සම්බුදුපියාණන්වහන්සේ කෙනෙකුටම පමණි. ඒ නිසා මෙවන් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කරන විට තමන්ගේ සීමාව දැනගෙන මෙවන් වූ අවස්ථාවල කටයුතු කිරීම අප සැමගේ යහපත පිණිසම හේතුවන්නකි.

ඉතින් අංග සම්පූර්ණ දේශනයක් ඇසීමේ බලාපොරොත්තුව මත මේ ආකාරයෙන් වැරද්දට මුල්තැන දී කටයුතු කිරීමේ ස්වභාවයක් මා තුලත් පෙර කලක බොහෝ වශයෙන් තිබූ කරුණක්. යම් දේශකයාණන්වහන්සේ කෙනෙක්ගේ දේශනයක් තුල තිබෙන නොගැලපෙන කරුණට හිත යන ස්වභාවය මටත් තිබුනා. ඒත් මේ ධර්මය තුලින්ම එහි වරද වටහාගෙන උත්සාහයෙන් වීර්යෙන් යුතුව සිහිය පවත්වමින් මෙම වරද නැවත නොනැගෙන සේ ඉවත් කරගැනීමට මට හැකිවුණා. ඒ මේ උත්තරීතර සත්ධර්මය තුලින්මයි. 

මේ සත්ධර්මය ඕනෑම කෙනෙකුට යහපත ගෙන දෙන්නක්. මට යම් පමණකින් වරදක් අඩුපාඩුවක් හදාගන්නට තවමත් නොයෙක් ආකාරයේ අඩුපාඩු සකසා ගන්නට මේ සත්ධර්මය උපකාර වූනා නම්, වෙනවා නම් මතුත් වෙනවා නම්... ඔබගෙන් යමෙකුටත් එය ඒ ආකාරයෙන්ම උපකාර විය හැකියි. එය නිසි ලෙසින් තමන්ගේ ජීවිතයට ලං කරගැනීම තම තමන් විසින් ගත යුතු තීරණයක්මයි.

ඉතින් සත්ධර්ම දේශයක් තුලදී හෝ වේවා මේ ආකාරයට කියවන්නට යෙදෙන දෑ ඔස්සේ හෝ වේවා ඔබ පුද්ගලත්වයක් ගෙන එතැන ඇලෙනවා නම් බැදෙනවා නම් ගැටෙනවා නම් එතැනින් ලැබිය හැකි නිවනක් නොමැත. ඉතින් අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ ඔබ සත්ධර්මයක් අංශු මාත්‍ර හෝ වශයෙන් අවබෝධ කරගෙන සිටින්නේ නම් යම් වැටහීමක් හෝ අනුමාන වශයෙන් හෝ තිබේ නම් තෙරුවන් සරණින් එය ප්‍රායෝගිකකරණය කරන්නට පිළිපදින්නට උත්සාහවන්තවීම වඩාත් සුදුසුයි යන්නයි. 

සසර පුරාවට තිබූ තැන තැන හාවෙමින් තණ්හා වෙන කැත පුරුද්දට දැන්වත් නැවතීමේ තිත තැබීමට පුරුද්ද අතහැරගැනීම සිහියෙන් සිටිමින් කටයුතු කිරීම සුදුසු වෙනවා. ඔය සිතට එකඟව කටයුතු කිරීම දැන්වත් නතර කල යුතු වෙනවා. මන්ද අවිද්‍යාව ක්‍රියාත්මක වනතාක් සිතේ තීරණය අවිද්‍යාව මිශ්‍රවූ කිලිටි සහගත තත්වයේම පවතින්නක් වන නිසා ධර්මයට එකඟව කටයුතු කිරීමට ප්‍රවේශමෙන් වග බලාගත යුතු වෙනවා. 

ඔබ කොතරම් භාවනා කලත් ධර්මය පුරුදු කරනවාය කිව්වත් ඔබගේ වචනය තුලින් තවමත් ඔබ දේශකයාණන්වහන්සේලාගේ වැරදි අඩුපාඩු සොයනවා නම්, පොදුවේ අනුන්ගේ දේවල් විවේඡනය කරමින් වාද විවාදයන්ට ලක්කරමින් අනුන්ගේ වැරදි දෑම සොයමින් කාලය නාස්ති කරගන්නවා නම් ඒවාට මුල්තැන දෙමින් අංශු මාත්‍ර හෝ සත්ධර්මය යටගසනවා නම් මේ සත්ධර්මය යටපත්වී වැසී යාමට එතරම් කාලයක් ගත නොවනු ඇත. 

ගැඹුරු ධර්මය කතා කිරීම සටහන් තැබීම පමණක් ප්‍රමාණවත් නැත. ඒ තුලින් ඔබගේ ජීවිතය තුල ඔබටම අත්දැකගත හැකි දියුණුවක් යහපත් ආකාරයේ වෙනසක් අත්දැකිය යුතුවේ. ප්‍රායෝගිකව භාවිතය තුලින් පෙර නොදැන හෝ යම් අඩුපාඩුවක් වරදක් නොගැලපෙන යම් දෙයක් සිදුවූයේ නම් එය නැවත නොවෙන තත්වයට පත්කරගැනීම පිණිස ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගෙන සත්ධර්මයේ ඇසුර ලැබිය යුතු වේ. 

ඒ සඳහා දේශනයක් තුල තිබෙන 99%ක් නිවැරදිව සිද්ධ වූණාවූ දේශනයක් තුලින් ඔබට ඇතිකරගන්නට නොහැකිවූවා යහපත් වූ වෙනසක් සමහරවිට 1% සත්ධර්මය තිබූ දේශනය තුලින් එක් ක්ෂණයකින් ලබාදෙන්නට පුළුවන් විය හැකියි. ඒ නිසා පුද්ගලත්වය අමතක කර දමන්න. ඔබ දේශනයකින් ලැබූ යම් අංශු මාත්‍ර හෝ යහපතක් වේ නම් එයට කෘතගුණ සැළකීම පිණිසම පමණක් පුද්ගලත්වය යන සම්මතය ප්‍රඥාවන්තව නොඇලීමෙන් නොගැටීමෙන් යුතුව භාවිතා කරන්න. ශ්‍රවණය කරන දේශනය තුල කියවන්නාවූ දහම් ලිපිය තුල නිවීම දැකීම එය මතුකරගැනීම එය තමන් තුලින් අත්දැකගැනීම ප්‍රඥාවන්තව කරගන්න.

මෙසේ නොවුනහොත් සත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු දෘෂ්ඨීන්ගේ මිදී මමත්වය ප්‍රහාණය කරන්නාවූ නිවීමද ඔබට බොහෝ දුරවනු ඇත. ප්‍රඥාවන්තව සිහියෙන් වීර්යෙන් යුතුව සසර පුරාවට පුහුණු කල කැත පුරුදු අතහැරගැනීමට ඔබ සැමටත් මටත් තෙරුවණේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා!!! ප්‍රඥාවන්තව කටයුතු කරගන්නට උපරිමයෙන් උත්සාහවන්ත වීම සුදුසුය. එය අපහසුය... බාධකද බොහෝමය... ඒත් කරන්නට බැරි දෙයක් නොවන්නේමය!!!

No comments: