නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය | Nirvana Dhamma BLOG

About this Blog | මෙම බ්ලොග් අඩවිය ගැන...

"මෙය “නිර්වාණ ධර්ම“ වෙබ් අඩවියට සමගාමීව ඔබ වෙත ලබාදෙන බ්ලොග් අඩවියයි! මෙසේ අවස්ථාවන් රැසක් තුලින් සත්ධර්මය කැටිකොට ලබාදෙන්නේ අතිශයින්ම බුද්ධිමත් සැබෑම මිනිසුන් වෙත පමණයි! ඔබේ ආගම ජාතිය කුලය තත්ව තානාන්තරය කුමක් වුවත් සැබෑම මිනිසෙක් ලෙසින් ප්‍රයෝජනයට ගෙන යහපත, සැබෑ සතුට, සැනසීම උදාකරගැනීම පිණිස “නිර්වාණ ධර්ම“ වෙතින් වෙන් වන අවකාශයයි!“
"This is the BLOG of "Nirvana Dhamma" web site which is Strictly for Human beings only! No matter what your status in this world is, No matter what you believes on, No matter what your religion is, Only matter is that whether you are a human being or not to gain the maximum benefits through all these efforts!"

Wednesday, September 15, 2010

තම තම නැණ පමණින් විමසත්වා!!

බල්ලෝ රැලක් ගෙනහින් දානවා හොදට ඉඩ පහසුව තියෙන පිට්ටනියකට... ඔන්න ඉතින් පොරකන්න ගන්නවා... ඒ අතරට මස් කටුවක් එහෙම දැම්මාම කොහොමද ඒ පොරකෑම තවත් වැඩි වෙනවා නේද? තුවාල කරගෙන ලේ පෙරාගෙන දත් විලිස්සගෙන පොරකනවා...
අන්තිමට ලැබෙන දේකුත් නැහැ කාලය ගත වෙච්ච එකයි තමන්ව විනාශ කරගත්ත එකයි තමයි වෙන්නේ නේද?  
බල්ලෝ කරන්නේ කාලා බීලා නිදාගෙන තමන්ගේ සීමාවන් ලකුණු කරගෙන තවත් ආශ්වාදයන් තියෙන ඒවා අරගෙන වෙලාව තියෙන නිසා වැඩි හරියක් කරන්නේ පොර කන එකම තමයි...

අන්තර්ජාලය, ෆේස්බුක්, නොමි‍‍ලේ වෙබ් අඩවි බ්ලොග් අඩවි සපයන පිට්ටනියක් තියෙනවා... ඒ පිට්ටනියට එකතුවෙන පිරිසක් ඉන්නවා... ඒ අය කොයි වෙලේත් බලන්නේ තම තමන්ට කැමති සේ පැවැත්විය හැකි ලෝකයක් දකින්නට ඒ වෙනුවෙන් සටන් කරන්න... ඒ පොර පිටියට වැටෙන මස් කටු තමයි නොයෙක් නොයෙක් ලෝකයේ සම්මත මාතෘකාවන්...
දේශපාලනය, ‍බුද්ධ ධර්මය යැයි කියන ධර්මයන්, නොයෙක් ආගම් ජාති කුලයන්, නළු නිළි පිරිස් ගැන, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය, ඉතිහාසය, නොයෙක් රටවල සම්මත චරියාවන් ආදිය තමයි නිතර දකින්නට තියෙන නිතර පොර කන මස් කටු වැනි මාතෘකා කීපයක්... ගැහැණු පිරිමි භේදයක් නැතිව කාලා බීලා අන්තර්ජාලය කියන පිට්ටනියට එකතු වෙන මේ පිරිසත් අර කරන්න වෙන වැඩක් නැති නිසා මහා ලොකු දෙයක් වටිනා දෙයක් කරනවා කියලා හිතාගෙන අර දාන මස් කටු වලට පොර කනවා... මස් කට්ටක් වැටෙනකම් බලාගෙන ඉන්න මේ කට්ටිය ඒ අවස්ථාව ආව ගමන් එයින් උපරිමයට තමන්ව විනාශ කරගන්නට සිත, කය, වචනය මෙහෙයවනවා...
ලංකාව කියලා සම්මත කරගත්ත අපේ රටේ උදවිය වැඩි හරියක් ගෙදර ගිනි පිටතට දෙනවා... ඒ කියන්නේ රටේ තියෙන තරමක් වැරදි වැඩ තමයි ඒ අය ප්‍රසිද්ධ කරන්නේ... ඒ විතරක් නොවේ හොදයි කියලා තම තමන්ගේ නැණ පමණින් මැනගන්න වෙනත් රටවල් කියලා සම්මත කරගත්ත ප්‍රදේශ වල දේවල් ‍පුළුවන් තරම් වපුරනවා... ඒ කියන්නේ පිටත ගිනි ඇතුලට ගන්නවා... දැන් ඉතින් පවුලකට වෙන දේම තමයි වෙන්නේ නේද?  පිටත ගිනි ඇතුලට අරන් ඇවිලෙනෝ කිව්වාට වැඩක් නැහැ වගේම තමයි ඇතුලේ ගිනි පිටතට දීලා ඇතුලයි පිටයි දෙකම ඇවිලෙනෝ කීමත් වැඩක් නැහැ... එහෙම නේද?
දස අකුසලය උපරිමයෙන් කරමින් ඒවායෙන් මිදේවා මිදේවා කිව්වට මිදෙන්නේ නැහැනේ නේද?  ඒකට උත්සාහයක් වීර්යක් කරන්න ඕන... කවදාවත් හිතුනේ නැතිනම් බල්ලෝ පොරකන්නේ ඇයි කියලා මේ ගැනත් හිතලා බලන්න... ඒ බල්ලෝ වෙලා ඉන්නේ අහසින් පාත් වෙච්ච අය නෙවේ... මිනිස් අත්බැවයක් ලබා අපි වගේම සිත, කය, වචනය තමන්ට රිසිසේ මෙහෙයවන්න ලැබිච්ච අවස්ථාවෙන් උපරිමයට දස අකුසලය කරන්න පෙළඹිලා... මිනිස් වෙසින් තිරිසන් වැඩ කරලා... පොරකමින්, ද්වේශ කරමින්, අනුන්ට හිංසා පීඩා හිත් රිදවීම් වන විදියට තම තමන්ගේ සිත, කය, වචනය මෙහෙයවලා යම් ගතියක් යම් ස්වභාවයක් වඩපු නිසා ඒ වඩපු ගතිය නම් හේතුවට අනුව පහල වෙච්ච ජාතිය තමයි තිරිසන් ජාතිය කියන්නේ... තම තම නැණ පමණින් තමන් තුල තිබෙන තිරිසන් ගති හඳුනාගන්නේ නම් ඒ තිරිසන් වැඩ ඉස්මතු කරමින් ඒ කියන්නේ රාගය, ද්වේශය උපරිමයට යොදාගනිමින් තමන් වින්දනයක් ලබනවා නම් එසේ කරන්නේ ඇයි කියලා හේතුව හොයලා බැලුව නම් තමන්ටම තේරෙයි ඒ හේතුවත් සමඟ ගනුදෙනුව නවතා දැම්මා නම් ඔය කියන රාග, ද්වේශත් පහල වෙන්නට හේතු නැතිව යනවා කියලා... ඒ අනුව සිත, කය, වචනය මෙහෙයවා ගන්න උත්සාහ කරනවා නම් ඒ වඩන ගතියට අනුවයි ඵලය ලැබෙන්නේත්... 
පැණි බිංදුවක් වැටුනොත් කූඹි කොහේ හිටියත් ඇදිලා එනවා... මස් කට්ටක් දැම්මාම බල්ලෝ කොහේ හිටියත් ඇදිලා එනවා... ධාන්‍ය ටිකක් දැම්මාම කු‍රුල්ලෝ කොහේ හිටියත් ඇදෙනවා... ඇයි මේ? ඒ අයට ආහාරයක් තියෙන නිසා... ඉතින් අර ඉහත කියපු මස් කටු වැනි මාතෘකා දැක්කම ‍නොයෙක් පිරිස් නොයෙක් ලෙසින් ඇඳිලා එන්නේ ඒ ඒ අයට එතැන ආහාරයක් තියෙන නිසානේ... මොකක්ද මේ ආහාරය?  ආශ්වාදය නොවේද කියලා තමන්ම නුවණින් විමසා බලන්නකෝ...
අනුන් විවේඡනයෙන්, තමන් දන්නවා යැයි හුවා දැක්වීමෙන්, අන් අය පහත් කිරීමෙන් විතරක් නොවේ මස් කටු දාලා අනිත් අය පොරකනවා බලාගෙන සතුටක් විඳින අයත් සිටිනවා, මේ සියලු දේ තම තමන්ගේ අවිද්‍යා මට්ටමෙන් පැවැත්මකටම හිත තබා කරන්නක්ම නොවේද කියලා තම තම නැණ පමණින් විමසා බලත්වා!
රැල්ලට ගහ ගෙන යන්න ලේසියි... ඒක කොහොමත් වෙරලට ගිහින් දානවා... හරියට මූදේ තියෙන කුණු ඔක්කෝමත් රැල්ලත් එක්ක වෙරලට ගහ ගෙන යනවා වගේ... තමන්ට වුවමනා ගොඩබිමට පීනලා යන්න උත්සාහ වීර්ය නොකර  රැල්ලට හසුවෙලා පහසු නිසා ගහගෙන යන්න හැදුවොත් වෙන්නේ අර කුණු ගොඩේම ගඳ ගහමින් ඉන්න තමයි නේද?  උත්සාහ වීර්ය ගෙන සුවඳ හමමින් ගඳ ගහන මඩ ගොඩේම මඩ නොගාගෙන ඉන්න නෙලුම් මලක් වෙන්න අපට බැරි කමක් නැහැනේද? 
තම තම නැණ පමණින් විමසා තමන්ගේ වඩන ගතිය හඳුනාගෙන කුණු ගො‍ඩටම ගොස් ගඳ ගහන කුණු කෑල්ලක්ම වෙනවාද?  වැඩකට නැති මස් කට්ටකට තමන්ව විනාශයට පත් කරගන්නා තරම් පොර කන ‍බල්ලන් අතරෙන් බල්ලෙක් වෙනවාද?  පැණි බිංදුවක් වැටුනොත් එතැනට ඇදිලා ඇවිත් පැණි බිංඳුවේම ඇලිලා විනාශ වෙන කූඹියෙක් වෙනවද?  පහසුවෙන්ම ඉස්මතු වෙන නිසා රාගයෙන්, ද්වේශයෙන් දැවි දැවී පිච්චෙමින් ඉන්නවාද?  ගෙදර ගිනි පිටතට දෙන එලියේ ගිනි ඇතුලට ගන්න අනුන්ගේ ඕපාදූප සොයමින් කාලය නාස්ති කරගන්න පහත් වූ ගති ඇති ස්ත්‍රියක් පමණක් වෙනවාද?     
නැතිනම් උත්සාහ වීර්ය කොට සිත, කය, වචනය සංවරත්වයට පත් කරගන්නවාද?  රාග ගිනි, ද්වේශ ගිනි නිවාගෙන සැනසීමක් ලබනවාද යන තීරණයට තම තමන් විසින්ම තම තමන් ගැන අධ්‍යනයක් කොට බුද්ධිමට්ටම් අනුව තීරණයකට බැස ගනිත්වා!!
කිසිවෙකුටත් එල්ල‍ කොට ‍නොලියමි... අනන්ත සසර දුකේ බියකරු බව යම් නුවණක් වේ නම් ඒ නුවණින් අත්දකින නිසාම මහත් වූ අනුකම්පාවෙන් සටහන් තබන්නෙමි... තම තමන්ට සුදුසු යැයි සිතෙන ලෙසින් තීරණයක් ගනිත්වා!! ආශ්වාදය ආශ්වාදය ලෙසින් දකිත්වා! ඒ ආශ්වාද‍ය තුල ඇලෙමින් බැ‍ඳෙමින් සිත, කය, වචනය මෙහෙයවූ විට තමන්ට කරගහ ගන්නට වන අනන්ත දුක් කන්දරාවත් දකිත්වා!  ගිනි හැඳින ඒ ගිනි නිවාගනිත්වා!! (ලෝකයේ සම්මත ආගම්, ජාති, කුල මල භේදයක් නැතිවම සියලුම මිනිසුන් යැයි සම්මත මිනිස් සත්වයා වෙනුවෙන් සටහන් තබන්නෙමි!!)
ඔබට අණ දීමට හෝ ඉල්ලීම් කරන්නට හෝ කල යුතු නොකල යුතු දෑ පෙන්වා දීමට තරම් වන මහා පුරුෂයෙක් නොවන්නෙමි... මගේ නැණ පමණින් යමක් නොකල යුතුද, යමක් තමන්ට මෙන්ම අන් අයටද හිංසාවක්ම වෙන දෙයක් ලෙසින් හැදින ගත්තේද, මේ ප්‍රයෝජනයක් ගත හැකි යම් නවීන තාක්ෂණයක් වේ නම් එය ඕපාදූප සඳහා හෝ අන් අය විවේඡනයට යොදා නොගෙන තමන්ට මෙන්ම අන් අයටද යහපතක් කරන්නට යොදාගන්නට හැකියාවක් අවස්ථාවක් තියෙනවානේද යන්න මාගේ නැණ පමණින් දුටු තරමින් මෙසේ සටහන් තබන්නෙමි... ඔබේ තීරණය සැමවිටම ඔබ අතම වේ!  ඒ සඳහා ඔබේ නැණ පමණින් ඔබ පියවර ගනිත්වා! තිසරණ සරණ ලැබ යහපතක්ම කරගනිත්වා!!

No comments: